Sunday, February 5, 2012

33. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.
මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි කසමින්, දියාරු හිනාවකුත් එක්ක , බයාදු, නිවට බැල්මකින් අර පුද්ගලයා දිහා බලාගෙන එකත්පස්ව ඉන්නවා දැක්කම මට ඇතිවුනේ වේදනාවක්.

අනේ අපේ මිනිස්සුන්ගෙ කොන්දවල් වලට මොකද වුනේ?
“කවුද ඒ? ඇමති කෙනෙක්ද?”
ඉඳගෙන හිටපු මා ලඟ හිටගෙන ඇඹරෙන පොරගෙන් ඇහුවා.
මොකද දේශපාලන කශ්ටිය දැක්කමත් අපේ හුඟ දෙනෙකුගෙ පශ්චාත් භාගයට කරන්ට් වදිනවනෙ.
“මහත්තයා, ඇත්තටම දන්නෙම නැත්ද?”
“නෑ. ඉතිං කවුද ඒ?”
“මහත්තයො,” පොර කියනවා. “එයා තමයි ලංකාවෙ ඉස්සෙල්ලම ටිකට් මැෂිමෙන් මාටියා ගහන ක්‍රමය හොයාගත්තෙ. එංගලන්තෙං ඔය මැෂින් ගෙනාවෙ මාටියා ගහන්න බෑයි කියලා ගැරන්ටියක් එක්ක…”
මට මල අතේ.
“එහෙනං පට්ට හොරෙක්නෙ. ඉතින් මේ ඔක්කොමල්ලා දඩිබිඩි ගාලා නැගිට්ටෙ ඒකා එනකොට?”
“හුහ්, ඒ ගහපු ගැහිල්ලෙන් තමයි මහත්තයා නැගිට්ටෙ. අද කෝටිපතියෙක්. බස්ම තියෙනවා…”
“නොදකින් මෙහෙමත් නිවට…!!!” හිතුනත් මම කිව්වෙ නෑ.
මම ටිකකින් නැගිටලා ගෙදර ආවෙ අපේ ජාතියම ගැන ඇතිවුනු පුදුම කළකිරීමකින්.
පස්ස නොසෝදනවා යයි අපි අවමන් කරන සුද්දන්වත්, අප්‍රිකානු සම්භවයක් කලු ජාතිකයන් ලඟවත්වත් දකින්න නැති මේ නිවටකම දකුණු ආසියාවෙ විතරද තියෙන්නෙ? අර මුලින් කී වර්ගයේ කලු හා සුදු මිනිස්සු හිටගන්නෙ ඇවිදින්නෙ පවා කොන්ද කෙලින් තියාගෙන. කතාකරන්නෙ ඕනෙම ලොක්කෙකුගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.
ඒකට අපේ කට්ටිය!
අපිත් එක්ක වැඩකරන විවිධ යුරෝපීය ජාතීන් හැරුනම වැඩිම පිරිස ඉන්දියානුවො.
ඉන්දියානුවො එක්ක බලනකොට අපේ උන් හොඳයි. මේ පොරවලුත් හැම එකාටම සර් කියනවා. තමන්ගෙ යාලුවට, එතකොට තමන් එක්ක එකට වැඩ කරන සගයට, කාකාසේට, කම්කරුවට, බාබර්ට, ටේලර්ට, බේකරි කාරයට, කොටින්ම කිව්වොත් ඕනැම කෙනෙකුට කතාකරන්නෙ ‘සර්’ කියලයි. ගිය අවුරුද්දෙ අපිත් එක්ක වැඩකරපු පන්ජාබ් ගුරුතුමිය වෛද්‍යවරයෙක් වුන තමන්ගෙම සැමියට කතා කරන්නෙ ‘සර්’ කියලා. නැති තැන අපිත් එක්ක කියන්නෙ ‘ඩාක්ටර්ජී’ කියලා. ඉතින් මෙයාලගෙ සර් කියන වචනේ කිසිම වටිනාකමක් නෑ. හරියටම ‘ඕයි’ කියනවා වගෙ.
අපිත් සමහරවිට ඊට දෙවෙනි නෑ නේද? අපි හැදිලා තියෙන්නෙ, අපිව හදලා තියෙන්නෙ කොන්ද පණ නැති ජාතියක් හැටියට නෙවෙයිද? වෙන රටවල වාහනයක් පොලීසියෙන් නැවැත්තුවාම පොලිස් නිළධාරියා වාහනේ ජනේලය ගාවට යනවා. රියැදුරා ඇතුලෙ ඉඳගෙනම වීදුරුව පහත් කරලා ලියකියවිලි ජනේලයෙන් එලියට දෙනවා. “අවශ්‍ය වුනොත් විතරයි, “Sir, please step out of the vehicle” කියලා ඉල්ලීමක් ලැබෙන්නෙ. ඒ වාහනය පරීක්ෂා කරන්න, නැතිනම් බීමතින් ඉන්නව වගෙ පෙනුනොත්.
අපේ රටේ කොහොමද? කවුද වාහනෙන් බැහැලා යන්නෙ? කවුද සර් කියන්නෙ, කවුද බයාදු විදියට ඔලුව කසන්නෙ? කවුද නිවට හිනාවක් දාගෙන ඉන්නෙ? කවුද තමන්ගෙ අතේ වැ‍රැද්ද තියාගෙන හරි, නැතුව හරි ‘සර්, සර්’ කිය කියා බැගෑපත් වෙන්නෙ?
රජයේ කාර්යාලයකට යන්න. උදාහරණයක් විදියට අධ්‍යාපන කාර්යාලයකට යන ගුරුවරයා මොන තරම් නිවට විදියටද කාකාස ඉඳලා අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා නිළයන් ඉස්සරහ හැසිරෙන්නෙ? එක ලිපි කරුවෙක්, තව ලිපිකරුවෙක් ලඟට ගුරුවරයව යොමු කරන්නෙ, “අර ‘මැඩම්’ගෙන් අහලා බලන්න,” “අර ‘සර්’ ලඟට යන්න,” කියලා නෙවෙයිද? ඉතින් ඒ ‘මැඩම්’ හරි ‘සර්’ හරි ලඟට ගිය ගුරුවරයා, යාචකයා වගේ එකත් පස්ව හිටගෙන ඉන්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඉඳගන්න පු‍ටුවක්වත් නැති නිසා. පු‍ටුවක් තිබ්බත් ඒකෙ ඉඳගන්නෙ අග්ගිස්සෙ, හරියට ඉඳගන්නෙත් නෑ ඇන්දට පිට හේත්තු වෙන්න, බයාදු කමට. හුඟක් වෙලාවට තියෙන සැප පහසුකමින් අඩු පු‍ටුවත් ස්ථානගත කරලා තියෙන්නෙ පන්ති භේදය ඉස්මතුවෙන විදියට. ඔය මැනේමන්ට් කෝස් කරපු අය දන්නවා ඇතිනෙ වැඩි විස්තර. ඉතින් ඒ කියපු පු‍ටුවෙ ඉඳගෙන ඔලුවෙ පිටිපස්ස කස කස ලිපිකරුවන්ට පීචන් වෙන ගුරු මහත්තුරු නෝනලා අධ්‍යාපන කාර්යාලයකට ගියාම දකින්න පුලුවන් (මට නම්) හිත් රිදවන දර්ශනයක්. මේ කෙනෙකුට කතා කරනකොට ඔලුව කසන කාලකන්නි පුරුද්දනම් අපිට කොහෙන් ලැබුනද දන්නෙ නෑ!
බැගෑපත් නොවෙන, කොන්ද කෙලින් තියාගෙන ඇස් දිහා එක එල්ලේ බලලා කතා කරන පුද්ගලයාව සමාජය හඳුන්වන්නෙ ‘අලි ඔලුවෙන් ඉන්න’ එකෙක්, ‘ඔලුව උදුම්මවාගෙන’ ඉන්න ‘පුහු ආඩම්බර කාරයෙක්’ හැටියටයි. මට එක පාරක් ඔහොම ඉඳලා පොලීසියෙන් දඬුවම් ලැබිලත් තියෙනවා. ඒ කතාව පස්සෙ කියන්නම්.
වඳින එකත් ඔයවගේම කේස් එකක් නේද? මේක ටිකක් පරෙස්සමෙන් කතා කලයුතු දෙයක්. සිංහලෙන් කියනවානම්’ Now I’m walking on thin ice”
වඳින එක අපි තියාගන්න ඕනෙ වැඳුම් ලැබිය යුතු පුද්ගලයන්ට වඳින්න විතරයි. එහෙම නැතිවුනොත් ඒකත් අර ඉන්දියානුවන්ගෙ, පාකිස්තාන් ජාතිකයන්ගෙ ‘සර්’ කිවිල්ලට දෙවෙනි නෑ. ළමයෙක්, තමන්ගෙ අම්මට, තාත්තට, වෙනත් පවුලේ වැඩිහිටියන්ට, ගුරුවරයට, එතකොට පූජ්‍ය පක්ෂයට වඳින එක වෙනම කතාවක්. එතකොට ඔය ඉස්කෝලවල තෑගි උත්සවවලදි පවා අපි අපේ ළමයින්ට කියලාවෙනත් බාහිර පුද්ගලයන්ට වන්දන්නෙ අපිට තියෙන මොන අයිතියක්, මොන බලයක් නිසාද? මම මේ ලඟදි බලාගෙන රූපවාහිණී වැඩසටහනකදි තෑගි ගන්න ලමයි ලවා බිස්කට් කොම්පැණියක ලොක්කෙකුට දණගහලා වන්දවනවා. කවුද එහෙම කරන්න කියලා ළමයින්ව පොළඹවපු අහවලා?
මෙතනදි මම කියනදේට කෙනෙක් එකඟ නොවෙන්නත් පුලුවන් බව මම දන්නවා. රජයේ කාර්යාලයකට ගිහින්, තමන් කරන්නෙ උතුම් ගුරු වෘතිය බවත් අමතක කරලා හැම එකාටම නිවට විදියට විරිත්තමින් ඔලුව කසමින් බැගෑපත්වෙන ගුරුවරුන් ගැන මට තියෙන්නෙ කලකිරීමක්. ළමයින් ලව්වා තම තමන්ගෙ ප‍ටු දේශපාලන හෝ වෙනත් අරමුනු මුදුන්පත් පමුණුවා ගන්නට ඕනැම එකෙකුට වන්දවන උන් ගැන මට තියෙන්නෙ තරහක්! ‘තමක් නිවට වෙනවා මදිවට අනාගත පරපුරත් නිවටයො කරන්න එපා යකුනේ!’ කියලා හදවත කෑ ගහන්නෙ ඔය වෙලාවට.
මේ ලියන මමත් ගුරුවරයෙක්. මම හැමදාම ළමයින්ට කිව්වෙ කොන්ද, බෙල්ල කෙලින් තියාගෙන, මූණ දිහා කෙලින් බලලා මිනිස්සුට කතාකරපල්ලා. කතා කරන කොට ඔලුව කසන්න එපා, කොටින්ම අත මූණ දිහාටවත් ගෙනියන්න එපා. නෝන්ජල් විදියට ඇඹරෙන්න එපා. අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට හැසිරියල්ලා කියලයි.
මේක තනියම ගුරුවරයෙකුට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේ කියනදේ පොඩ්ඩක් හිතලා බලලා, තමන්ගෙ ලමයින්ට පෞරුශ වර්ධනයට අවශ්‍ය මේ ලක්ෂනත් පොඩි කාලෙ ඉඳලා උගන්වන්න.
මතක තියාගන්න ළමයි දෙමවුපියන්ව අනුගමනය කරන බව. ලමයි ලඟ තියාගෙන තාත්තා ඔලුව කසකස පොලීස් නිළධාරියට බැගෑපත්වෙන එක හරියි කියලා ළමයත් ඉගෙන ගන්නවා. පස්සෙ ළමයට එහෙම කරන්න එපා කියලා අවවාද කලාට වැඩක් නෑ. ජාතියේ කොන්ද ගොඩනගන්න හෙට නෙවෙයි අදම පටන්ගනිමු.

අනික අර මුලින්ම කිව්වා වගෙ අපේ මිනිස්සු ගරු කරන්නෙ බාහිර ඔපයට මිසක් ගුණ සුවඳට නෙවෙයි. මම බස් එකෙන් බැහැලා කඩේකට ගියොත්, ඕනැවට එපාවට ඇල්මැරුණු ස්වරූපයෙන්, ‘අයියා’ කියලා කතාකරන කඩේ පොරම, මම වාහනේ කඩේ ඉස්සරහ නවත්තලා, සන්ග්ලාසස් දාලා ඒ කඩේටම ගියාම පස්ස පැත්තට කරන්ට් එක වැදුනා වාගෙ නැගිටලා, “සර් මොනවද බැලුවේ?” කියලා අහන්න්නෙ ඔලුව කස කසා. අනික වාහනේ අලුත්ම එකක් නොවුනත්, ශෝට් එකකුයි, ස්කිනී එකකුයි ඇඳලා ගියාවුනත් “සර්” කෑල්ලනම් අනිවා, ඩෙෆා!!
අපේ රටේ විතරයි මම දන්න තරමින් වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් ඉබේ ලැබෙන්නෙ!!


This article was simulblogged at my Sinhala blog  මට හිතෙන හැටි on the occasion of The National Day Sri Lanka

13 comments:

  1. කියල වැඩක් නෑ අයියේ, පට්ටම පෝස්ට් එක. ඔන්න නිදහස වෙනුවෙන් කරන්න පුළුවන් නම් නියම වැඩක්. වැඩේ කියන්නේ අපේ රට දැන් යන විදියට ඕක හදන්න නම් පුදුම ගේමක් දෙන්න ඕන.

    අර ගුරුවරුන්ගේ සීන් එක නම් මටත් පෙන්නන්න බැරි සිද්ධියක්. රටක් හදන ඒ මිනිස්සු කාර්යාල වලට ගියාම කාකාසටත් වඩා පහලට වැටෙනවා. රටේ ඉන්න උසස්ම මිනිස්සුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන ඒ මිනිස්සු අර වගේ තැනකදී කාකාසටත් වඳින්න වෙනවා. හැබැයි ඒක ඒ ගුරුවරුන්ගේ වැරැද්ද නෙමෙයි අයියේ. එහෙම කලේ නැත්තන් වැඩේ කරල දෙන්නේ නෑ කියල දන්න නිසයි එහෙම කරන්නේ. මම දන්න අය ඉන්නවා, මිස් හරි මඩම් හරි කියලා කතා කලේ නැත්තන් වැඩේ කෙරෙන්නේ නෑ.

    ReplyDelete
  2. ඔක්කොම දේවල් හරි! මේ බයාදු කම රජ කාලේ ඉඳලා තියෙන එකක්. පොතක තිබුනා ඉස්සර සාමාන්‍ය වැසියා රජු ඉදිරියෙ තමන්ව හදුන්වාදෙන්නෙ බලු ගැත්තා කියලු. තව විස්තර ගොඩක් තියෙනවා. කතා කරලා වැඩක් නැ. අපි හමුඋන දවසක කතා කරමු.

    මම ව්‍යාපාරයක් ලියාපදිංඩි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය වෙලාවකත්, පොලිසියත් එක්ක කෙලින් හිටගෙන කතා කරන්න ගිහිල්ලත් හොඳ පරිප්පු කලා තියෙනවා. අනිත් එක තමා සන්ග්ලාස්. මිනිස්සු ඒකට ඔච්චර බය ඇයිද මන්දා

    ReplyDelete
  3. නියම මාතෘකාවක් ඇදලා තියෙන්නේ. අපි හරි නෝන්ජල් ජාතියක්. මහ උන් ගාව ඇඹරෙන ඇඹරිල්ල දැක්කම ලැජ්ජ හිතෙනවා. නමුත් උන්ට තමයි තැන. ඊයේ ලොක්කා දැයට කිරුල විවෘත කරන්න ගිය වෙලාවේ මැති ඇමතිවරු ලොක්කා ගාවින් යන්න පොරකන හැටි දැක්කම තූ නොදකින් කියලා හිතුවා. අම්මට තාත්තට වඳින එකටත් මම නම් විරුද්ධයි. ආදරයට සහ ගෞරවයට බදාගෙන හාද්දක් දෙන එක ඊට වඩා කොච්චර සුන්දරද. විභාග කොමසාරිස් දිවුරුම් දෙන කොට ඇමතිට වඳිනවා. ඊට පස්සේ ඌ ගැන කතාකරලා වැඩක් නෑනේ..

    ReplyDelete
  4. මේ ලියන මමත් ගුරුවරයෙක්. මම හැමදාම ළමයින්ට කිව්වෙ කොන්ද, බෙල්ල කෙලින් තියාගෙන, මූණ දිහා කෙලින් බලලා මිනිස්සුට කතාකරපල්ලා. කතා කරන කොට ඔලුව කසන්න එපා, කොටින්ම අත මූණ දිහාටවත් ගෙනියන්න එපා. නෝන්ජල් විදියට ඇඹරෙන්න එපා. අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට හැසිරියල්ලා කියලයි.

    anna ee tika nam niyamai.I love your writing style very much uncle.

    ReplyDelete
  5. හිතේ ආවේගෙට ලිව්වත් ඇත්ත කතාව.අනේ මන්දා මේවා හදන්න පුලුවන්ද කියල.

    ReplyDelete
  6. ඇත්ත ලීවට බොහොම ස්තුතියි. ඇයි අපේ මිනිස්සු මෙච්චර නෝන්ජල් කියල මම දන්නෙ නැ. මෙහෙ උනත් ලන්කාවෙ එම්බැසිඩර් හෝල් එකට් එනකොට ඔක්කොමල්ල නැගිටිනවා මමයි මගෙ තව යාලුවො කීප දෙනෙකුයි හැර. කියල වැඩක් නෑ

    ReplyDelete
  7. @Kasun:ඕක ජානවල තියෙන දෙයක් මම හිතන්නෙ. බෑයි කියලා අතෑරලා බෑ. තව උත්සාහ කරලා බලන්න ඕනෙ.
    එතකොට ඔය අපේ උන් කොඳු නවලා බැගෑපත් වෙලා වැඩක් කරගන්නකොට ඒව ලබන උන් අපේ උන් නෙවෙයිද? උන්ට මේ ගැන අමාරුවක් නැත්ද?

    @ බුද්ධි: ඇත්තටම බුද්ධි අර රොබට් නොක්ස්ගෙ එදා හෙලදිව මම කියෙව්ව කාලෙ මට මල පැනලා තිබ්බෙ අපේ එවුන්ගෙ දීන හැසිරීම් ගැන කියවලා.
    මමත් කොන්ද කෙලින් තියාගැනීම නිසා පොලිසියෙන් දඬුවම් විඳපු එක ගැන පෝස්ට් එකක් දාන්නම්. බුද්ධිගෙ සිද්ධි දෙකත් ලියන්නකො බලන්න.

    මට හිතෙන හැටි ලින්ක් එකට ගියොත් බුද්ධිට පුලුවන් තව කොමෙන්ට් ගොඩාක් කියවන්න. සමහර කොමෙන්ට් මගෙ පෝස්ට් එකට වඩා වටිනව කියලා අම්ට හිතෙනවා.

    @කතාව ඇත්ත මාතලන්. "විභාග කොමසාරිස් දිවුරුම් දෙන කොට ඇමතිට වඳිනවා. ඊට පස්සේ ඌ ගැන කතාකරලා වැඩක් නෑනේ.."
    අපිට ලොකු වෙනසක් කරන්න බැරිවුනත් අපිට පුලුවන් පොඩි දේ හරි කරන්න බලමු.

    @වර්ෂා: බොහොම ස්තුතියි වර්ෂා. මේ බ්ලොග් පෝස්ට් එකේම තව හුඟාක් කොමෙන්ට්ස් තියෙනවා 'මට හිතෙන හැටි' ලින්ක් එකෙන් ගියාම.

    ReplyDelete
  8. ඒකනෙ මොකෝ බ්ලොග් දෙකක් ලියන්නෙ එක පාර.....

    ReplyDelete
  9. @නිකමා: 100%ක් බැරි වුනත් යම් පමණකට හදන්න පුලුවන්. බලමු. ස්තුතියි.

    @හිරුණි: ප්‍රධාන අමුත්තා එනකොට නැගිටින එක තව කමක් නෑ කියමු. අපේ අය සීමාවන් දන්නෙ නෑ. හැමෝටම නැගිටිනවා. නැගිටලා ඉවරයක් නෑ.

    @බුද්ධි: මේක මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකනෙ. සාමාන්‍යයෙන් මම මේකෙ සිංහල බ්ලොග් දාන්නෙ නෑ. මේ ජාතික දිනය වෙනුවෙන් ලියපු බ්ලොග් පෝස්ට් එක වැඩි පිරිසක් අතරට ගෙනියන්න ඕනෙ නිසාත්, මේක ඉංග්‍රීසියෙන් දැම්මම ලෝකේ ඉන්න අනිත් ජාතිකයනුත් මේක කියව්න නිසාත් තමයි සිංහලෙන් දැම්මෙ. අරමුණ වුනේ අපිටම මඩ ගහගන්න එක නෙවෙයි. වැ‍රැද්දක් පෙන්නලා දීලා හදාගන්න.

    ReplyDelete
  10. මේ කියාපු ටිකනම් ඇත්තම ඇත්ත මචෝ. අපේ දෙපාර්තමේන්තුවෙත් මහ එකාලා මැති ඇමතියො ලඟ වලිගෙ වන වනා ඇඹරෙන විදිහ දැක්කහම ලැජ්ජාවෙ පන යනවා. උන් තමන්ගෙ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න උත්සාහ කරන්නෙ රාජකාරිය හරියට කරලා නෙමෙයි, ගොම් පස් අල්ලලා.

    ReplyDelete
  11. ඔන්න මං නම් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා එහෙම කරන්න බැරි තැනට එනකොට තනතුරුත් ජොබත් දමල ගහල ආව..

    ReplyDelete
  12. සෑහෙන්න වටින ලිපියක් කියන්න දෙයක් නෑ මට මේක කියවද්දි සෑහෙන්න දේවල් ඔළුවට වැටුනා ඉස්සර මම කාට කතා කලත් සාක්කුවට අත දාගෙන කතා කරන්නේ පස්සේ ඉස්කෝලෙන් ගුටිකාලා ගුටිකාලා අත් පිටිපස්සට යැවෙනවා ඉබේම.... මොකෙක්ට උනත් ආයේ කවදාවත් දෙකට නොනැමෙන්න නියමෙට ලියලා තියෙනවා.... එහෙම අවස්ථා ආවොතින් මට මේ කතාව මතක් වෙයි අනිවාර්යෙන්ම..

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා නැලැවෙන්නේ

    මට මතක හැටියට පද ගැලපුම ඔහොමයි මේං මේ වගේ දේශාබිමානි ගීත රටකට අවශ්‍ය මේ නිසා...බොහෝම ස්තූතියි මේ ලිපියට

    ReplyDelete
  13. ගොඩක් අය සර් කියන වචනය ගණිකා වෘත්තියෙ යොදනවා

    ReplyDelete

I APPRECIATE YOUR COMMENTS VERY MUCH.

And now you can SPICE’EM UP, too. :)

Wanna escape HTML?

This is how to insert a link:
<a href="LINK HERE"> WORDS HERE</a>

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [en="2"]..............[/en]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]